නිවාස සැලසුම් ඇදීම සහ ඇස්ත්මේන්තු සැකසීම දුරකථන 0718067440, විද්‍යුත් තැපෑල amilacad@gmail.com ............House Plan Designed and Estimating Tel. 071-8067440, email: amilacad@gmail.com

Ranwala Gods

රංවල දෙවියෝ



          බුදුරජාණන්වහන්සේ මූලිකත්වයෙහි ලා පවත්වාගෙන ගිය අතිරේක ඇදහිලි සියල්ල සම්බන්ධ කර ගැනීමෙන් ගැමියෝ බුදු සමය පුළුල් කර ගත්හ. එම ඇදහිලි රටාව අනුව බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛව සිටින සේක.ඊට අප්‍රධානව සතරවරම් දෙවිවරුද, විෂ්නු, සමන්, කතරගම, නාථ දෙවිවරුද සිටියහ. යක්ෂයෝ සහ ප්‍රේතයෝ පහලම තලයේ සිටිති. එසේම ශ්‍රී ලංකාවේ ඒ ඒ ප්‍රදේශ භාරව ප්‍රාදේශ භාරව ප්‍රාදේශිය දෙවිවරුද සිටිති. ඔවුහු ඉහත කී ප්‍රධාන දෙවිවරුන්ට පහත් මට්ටමක සිටියත්, ගරු සත්කාර පුද පූජා ලැබීම අතින් ප්‍රධානත්වයක් ලබති.

           රංවල දෙවියන් එවැනි ප්‍රාදේශිය දෙවි කෙනෙකි. නැගෙනහිර සියනෑ කෝරළය, හේවාගම් කෝරළය යන දෙකෝරළයේ කැළණි ගං මිටියාවතේ පදිංචිකරුවෝ කැළණි ගඟට අධිගෘහිත දෙවියන් ලෙස රංවල දෙවියන්ට පුද සත්කාර කරති. එතුමගේ අණසක කැළණි ගං මිටියාවතේ පවතී.
   
           කැළණි ගං දෑලේ වෙසෙන්නෝ දුප්පත්, පොහොසත් භේදයකින් තොරව රංවල දෙවියන් විශ්වාස කරති. මෙහි රංවල දෙවියන් උදෙසා පහන් නොදල්වන බෞද්ධ නිවසක් ඇත්නම් ඒ කලාතුරකිනි. ආගමික ස්ථානවල පසළොස්වක පොහෝ දිනවල පුහුල් පහන් සිය ගණනින් දල්වනු ලැබේ.

           ජනප්‍රවාදයන්ට අනුව මෙතුමා රාජ උදහසට බියෙන් රංවලට පැමිණ රහසිගතව ජිවත් වු ගැමියෙකි. තුණුරුවන් කෙරෙහි අචල සද්ධාවෙන් ජිවත් වු මොහු පොහෝ දිනවල සිල් සමාදන්වීම සදහා කැළණි රාජ මහා විහාරයට කැළණි ගග දිගේ ඔරුවකින් ගමන් කළේය. එසේ යන එන විට මග දෙපස ආලෝකවත් වීම සදහා පුහුල් පහන් ගගට නැමුණු ගස් අතුවල එල්ලු බව කියැවෙන එක් මතයකි.

           ඔහුගේ මරණින් පසු දේවත්වය ලද බවත්, කැළණි ගං මිටියාවතේ පදිංචි අයට අනුකම්පාවෙන් ආරක්ෂා රැකවරණ සලසන බවත් ගැමියෝ විශ්වාස කරති.ගැමියන්ගේ ලෙඩදුක් කරදර වලදී රංවල දෙවියන් පිහිට වන බවත්, ඔවුන්ගේ පින්පෙත් ලබාගන්නා බවත් ඔවුහු විශ්වාස කරති.

           සුභ කටයුතු යෙදෙන විටත්, අසනීප කරදර ආදියේත්, රංවල දෙවියන්ට භාරවීම. වාර්ෂික දේව මන්ගල්ය පැවැත්වීම, දේව දාන දීම, පුහුල් පහන් පත්තු කිරීම මේ ප්‍රදේශයේ නොකඩවා සිදු කෙරේ. රංවල සිට කැළණිය දක්වා ගග දෙපස ගම්මානවල අය මහත් භක්තියෙන් රංවල දෙවියන් ගැන කතා කරති. හිගුරල, වග, කලුඅග්ගල, පහත්ගම, නිකවල, කපුගොඩ යන ස්ථානවල රංවල දෙවියන්ගේ ප්‍රතිමා ඉදිකොට ඇත. මහ මග යන්නෝ ඒ ස්ථානවලදි පඩුරු දමා දෙවියන් යැද යාමට අමතක නොකරති.

            තුණුරුවන් කෙරෙහි සද්ධාවෙන් යුතුව සිල් සමාදන්වීම වැනි යහපත් ක්‍රියාවල යෙදුණු අය මියගිය පසු දේවත්වයෙන් සැලකීමට පවා ජනතාව පෙළබෙන බව රංවල දෙවියන්ගේ කථා වස්තුවෙන් පසක් කර ගත හැකිය. යහපත් අය මියගිය පසු දෙවියන් බවට බොහෝ අවශ්ථාවල පත් වී ඇත. රංවල දෙවියන් ජනතාව අතර ජනප්‍රිය වීමට හේතු වී ඇත්තේ ඔහු ජිවත්ව සිටිනවිට ජනතාවගේ යහපත සදහා කටයුතු කළ නිසා බව විශ්වාස කෙරේ.

             මෙය ශ්‍රි ලංකාවේ ප්‍රාග් බෞද්ධ යුගයේ පැවති මළවුන් ඇදහීම්මට නෑකම් කියන්නකි. එහෙත් රංවල දෙවියන්ගේ කථා වස්තුවට බෞද්ධ මිහුණුවර ආරෝපණය වී ඇත. බුද්ධ කාලයෙන් පසු බුදු සසුන දෙවිවරුන්ගේ ආරක්ශාව මත පැවති බව පෙනේ. රංවල දෙවියන්ගේ බලපරාක්‍රමය වර්ධනය වී ඇත්තේ බුදු දහමය අනුගතවය. බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වු කැළණිය වැනි ඓතිහාසික සිද්ධස්ඨානයකට සම්බන්ධව කටයුතු කළ බෞද්ධ උපාසකයකු වීමම මෙතුමාගේ දේවත්වය පොදුජනයා අතර වඩා ශ්‍රේෂ්ඨත්වයටත්, පූජනීයත්වයටත් පත්වීමට හේතු වී ඇත.

              රංවල දෙවියන් කැළණි ගඟබඩ පොදු ජනතාවට කරුණා මෛත්‍රිය පතුරුවා ඔවුන් රකින බවත්, අත්වැරදීම් කටවැරදීම් වූ විට අයහපත උදාකරන බවත් බැතිමත්තු විශ්වාස කරති.


       
                                                                                                                                  (උපුටා ගන්නා ලදී.)
                       
Share:

කොවිඩ්-19 පරදවමු.

කොවිඩ්-19 පරදවමු.